Sunday 9th of November 2025

English Tamil
Advertiesment


දේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි


2025-11-04 1229

 

- ආචාර්‍යය ජෙහාන් පෙරේරා -



ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීමට රටට දැන් සැබෑ අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකාවේම ආයතන හරහා සහ තමන්ගේම ක්‍රමවේදයකින් මෙම දිගු හා වේදනාකාරී ගැටලුව විසඳීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට බලය ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සමඟින්, ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැකි අතර, පෙර පාලනයන් පොරොන්දු වූ නමුත් කිසිවිටෙකත් සම්පූර්ණ නොකළ ප්‍රතිසංස්කරණ ගෙනඒමට හැකිය. ජාතික ජාන බලවේගය බලයට පත්වූයේ ජනතාවට පද්ධතියේ සම්පූර්ණ වෙනසක් අවශ්‍ය වූ බැවිනි. මහජනතාව කුඩා නිවැරදි කිරීම් පමණක් නොව, රාජ්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රධාන පරිවර්තනයක් අපේක්ෂා කළහ. ඒ සමඟම, විපක්ෂය දැන් එතරම් ශක්තිමත් නොවන අතර, එය තවදුරටත් මෙහෙයවනු ලබන්නේ අතීතයේ දී සංහිඳියාව සඳහා වූ උත්සාහයන් අවහිර කළ ජාතිවාදී හෝ අන්තවාදී හඬවල් විසිනි.

අනතුර නම්, ෂේක්ස්පියර් පැවසූ පරිදි, කාලය බලා නොසිටීමයි. අන්තර්ජාතික මට්ටමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ශ්‍රී ලංකාවට රට තුළ ඇති ගැටළු විසඳාගැනීමට යම් කාලයක් සහ අවකාශයක් ලබා දී ඇත. මෑත කාලීන UNHRC යෝජනාව මඟින් ශ්‍රී ලංකාවට වගවීම, සත්‍ය සෙවීම සහ වින්දිතයන් සඳහා වන්දි ගෙවීම පිළිබඳ පොරොන්දු ඉටුකිරීමට තවත් වසර දෙකක් ලබාදී තිබේ. යෝජනාවේ පැහැදිලිවම සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේම ආයතනවලට මෙම ගැටළු හැසිරවිය හැකි බවත්, අන්තර්ජාතික ක්‍රියාවලියක අවශ්‍යතාව අඩුකරන බවත්ය. මෙය රාජ්‍යතාන්ත්‍රික සහන කාලයක් වැනිය. ලෝකය ශ්‍රී ලංකාවට තමන්ගේම විසඳුම් සොයාගැනීමට අවස්ථාවක් ලබාදෙන්නේ එය නිවැරදි ආකාරයෙන් සිදුකිරීමටය. කෙසේවෙතත්, ඉදිරි වසර දෙක තුළ සැබෑ ප්‍රගතියක් නොමැති නම්, අන්තර්ජාතික මතය ශ්‍රී ලංකාවට එරෙහිව හැරවිය හැකිය. මීළඟ UNHRC යෝජනාව වඩාත් දැඩි වියහැකි අතර, රටේ අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සෘජු අන්තර්ජාතික ක්‍රියාමාර්ග හෝ බාහිර යාන්ත්‍රණක් ඉල්ලා සිටිය හැකිය.

මෑතකදී නිකුත් කරන ලද 'ශ්‍රී ලංකා බැරෝමීටරය 2025'(www.srilankabarometer.lk) නම් යුරෝපීය සංගමය සහ ජර්මානු රජය විසින් සහාය දක්වන ලද ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය වන්නේ මන්දැයි ඉස්මතු කරයි. මෙම ජාතික අධ්‍යයනයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන මෙම කාලපරිච්ඡේදය තුළ සංහිඳියාව ප්‍රගතියක් ලබන ආකාරය පිළිබඳ පැහැදිලි, කරුණු මත පදනම් වූ චිත්‍රයක් ලබාදෙයි. එහි ප්‍රතිඵල මගින් අනතුරු ඇඟවීමේ සංඥා සහ අවස්ථා යන දෙකම පෙන්නුම් කරයි. සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන්, විශ්වාසය වැඩිදියුණු වී ඇති නමුත්, රටේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට උතුර සහ නැගෙනහිර පළාත්වල දේශපාලන විශ්වාසය අවම මට්ටමක පවතී. එම විශ්වාසය, 2023 දී 5.9 සිට 2025 දී 6.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2020 සිට ඉහළම මට්ටමයි. එහෙත්, උතුර සහ නැගෙනහිර කලාපවල විශ්වාසය පහත වැටී ඇත. 2025 දී එය උතුරේ 6.5 දක්වා සහ නැගෙනහිර 6.2 දක්වා පහත වැටී ඇත. 2023 දී එම අගයන් 6.9 සහ 6.5 ලෙස දැක්විණි. මෙම කලාපවල ජනතාවට තවමත් තමන්ව අත්හැර දමා ඇති බවත්, තමන්ව පාලකයන්ට ඇසෙන්නේ නැති බවත් හැඟෙන අතර, යුක්තිය ඉටුකර නොමැති බවත්, රජයේ පොරොන්දු ඉටු වී නොමැති බවත් ඔවුහු පවසති. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසා ඔවුන්ට නිසි දේශපාලන හඬක් අහිමි වී ඇති බව ද බොහෝදෙනෙක් පෙන්වාදෙති.



ධනාත්මක සොයාගැනීම්



ධනාත්මක කරුණු ලෙස සමීක්ෂණයෙන් පෙනීයන්නේ, ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව සංහිඳියාවට සහ වෙනසට විවෘත බවයි. බොහෝ ශ්‍රී ලාංකිකයෝ, ඔවුන්ගේ වාර්ගිකත්වය හෝ ආගම කුමක් වුවත් පාලනය, යුක්තිය සහ ජීවනෝපායන්හි සැබෑ දියුණුවක් දැකිය හැකි නම්, සංහිඳියාව ඇති කළ හැකි බව විශ්වාස කරති. වත්මන් පාලනය යටතේ සංහිඳියාව ගැන කතාකිරීමට සහ ඒ සඳහා වැඩකිරීමට දැන් මිනිසුන්ට වැඩි ඉඩක් ඇති බව ද එහි සඳහන් වේ. ප්‍රාදේශීය සිවිල් සමාජ කණ්ඩායම්, ප්‍රජා නායකයන් සහ තරුණ සංවිධාන පෙරට වඩා සාකච්ඡා සහ උපදේශනය සඳහා වඩාත් ක්‍රියාකාරී වේ. දේශපාලන හෝ විදේශීය කණ්ඩායම් වෙනුවට විශ්වාසදායක දේශීය පුද්ගලයන් විසින් සංහිඳියාවේ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන විට, ඒවාට සහභාගීවීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණයෙන් තවදුරටත් හෙළිවිය. උතුර සහ නැගෙනහිර පළාත්වල දේශපාලනය කෙරෙහි විශ්වාසය අඩු වුවද, එහි ජනතාවට දේශපාලන ජීවිතයට සහභාගී වීමට තමන්ගේම හැකියාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇත. මෙය ශක්තිමත් ප්‍රජා අභිප්‍රේරණය සහ සහභාගීත්වය පෙන්නුම් කරයි. මෙම සිවිල් විශ්වාසය පිළිබඳ හැඟීම සඳහා ජාතික සාමාන්‍ය ලකුණු 6.7 ක් විය. 2023 දී එය 6.1 ක් විය. එහෙත් එය උතුර සහ නැගෙනහිර පළාත්වල 7.2 ට වඩා ඉහළ අගයක් විය. මෙම ප්‍රදේශවල ජනතාව සිවිල් ක්‍රියාකාරකම්වල වඩාත් ක්‍රියාශීලීව සම්බන්ධවීම නිසා මෙය සිදුවිය හැකි බව වාර්තාව පවසයි. සමස්තයක් වශයෙන්, සමීක්ෂණයේ සොයාගැනීම්වලින් පෙනීයන්නේ, ඉහළ සිට ශක්තිමත් දේශපාලන නායකත්වයක් මගින් ප්‍රාදේශීය ප්‍රජා උත්සාහයන්ට සහාය ලැබෙන්නේ නම් සංහිඳියාව සාර්ථක විය හැකි බවයි.

බැරෝමීටරයේ ප්‍රධාන පණිවිඩය නම් ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව සඳහා තවමත් ඉඩකඩ ඇති නමුත් එම අවකාශය කුඩා වෙමින් පවතින බවයි. සමස්තයක් වශයෙන්, රට පුරා ජනතාව වඩාත් විශ්වාසදායක සහ බලාපොරොත්තු සහගත වෙමින් සිටින බව එයින් පෙන්නුම් කෙරේ. කෙසේවෙතත්, එම පළාත්වල ජනතාව සිවිල් ජීවිතයට සහභාගී වීමට ක්‍රියාශීලීව හා විශ්වාසයෙන් සිටියද, උතුර හා නැගෙනහිර පළාත්වල, රජය කෙරෙහි විශ්වාසය ප්‍රතිචාරාත්මකව පහත වැටෙමින් පවතින බව දැකගත හැකිය. මෙයින් අදහස් කරන්නේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව තවමත් වෙනසක් කළ හැකි බව විශ්වාස කරන නමුත්, එය සිදුකිරීමට රජයේ කැමැත්ත හෝ හැකියාව ඔවුන් තවමත් විශ්වාස නොකරන බවයි. යුක්තිය සහ බලය බෙදාගැනීම ප්‍රමාද වන තරමට, මහජන විශ්වාසය පවත්වා ගැනීම දුෂ්කර වනු ඇත. ජනතාවගේ දුක්ගැනවිලි නොසලකා හරින විට, සෑම පැත්තකින්ම අන්තවාදී කණ්ඩායම්වලට ඔවුන්ගේ කෝපයෙන් ප්‍රයෝජන ගත හැකිය. සත්‍යය සහ යුක්තිය සඳහා වන ඉල්ලීම උතුරින් හා නැගෙනහිරින් පමණක් නොව, රට පුරා සුළුතර ප්‍රජාවන්ගෙන්, කාත්තන්කුඩි සිට කටුවපිටිය දක්වා සහ වැල්වෙට්ටිතුරෙයි සිට දිගන දක්වා, පැමිණෙන්නේ ජනතාව තවමත් පිළිතුරු සහ වගවීම සොයන ස්ථානවලින් බව දැකගත හැකිය. මෙම ගැටළු නොසලකා හැරීම දිගටම සිදුවුවහොත්, රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් දුර්වල වන අතර, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාවගේ විශ්වාසය දිගටම පහත වැටෙනු ඇත.

ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් සහ ජනතාවගේ සහයෝගය යන දෙකම තිබේ. මෙය වත්මන් තත්ත්වය වෙනස් කිරීමට විශේෂ අවස්ථාවක් ලබාදෙයි. සැබෑ කැපවීම පෙන්වීමට නම්, පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් සහ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් දුන් පොරොන්දු පිළිබඳව දෘශ්‍යමාන ක්‍රියාමාර්ග ගැනීමෙන් පළාත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය නැවත ආරම්භ කළ යුතුය. ක්‍රියාකිරීමට කාලය එළඹ ඇත්තේ දැන් මිස පසුව නොවේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සිදුවූවාක් මෙන් මහජන සහයෝගය සහ දේශපාලන බලය ඉක්මණින් මැකී යා හැකි බව මතක තබා ගැනීම වැදගත්ය. ආණ්ඩුවේ වත්මන් ශක්තිය සදහටම පවතින්නේ නැත. ප්‍රතිඵල නොපෙනෙන විට ජනතාව ඉක්මණින් විශ්වාසය නැතිකර ගනී. මෙම අවස්ථාව මගහැරුණහොත්, එය ඉක්මණින් නැවත නොඑනු ඇත.



අහිමි වූ අවස්ථා



නූතන ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිදහසින් පසු, රටට විනකරන ලද ජනවාර්ගික ගැටුම විසඳීමට පැවැති 'මගහැරුණු අවස්ථාවන්ගෙන්' පිරී තිබේ. 1977 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතිවිශාල බහුතරයකින් බලයට පත් වූ අතර, දෙමළ ජනතාවට සැබෑ දුක්ගැනවිලි ඇති බව පිළිගත්තේය. ඒවා විසඳීම සඳහා වටමේස සාකච්ඡාවක් පවත්වන බවට ඔහු පොරොන්දු වූ නමුත් ක්‍රියාකිරීමට බොහෝ කාලයක් බලාසිටියේය. 2015 දී සිරිසේන-වික්‍රමසිංහ පාලනයද ශක්තිමත් සහයෝගයෙන් ආරම්භ වූ අතර, ව්‍යවස්ථාදායක සභාවක් පවා පිහිටුවීය. එහෙත්න සැබෑ ප්‍රගතියක් ලබාගැනීමට පෙර එම පාලනය විශ්වසනීයත්වය සහ බලය අහිමිකර ගත්තේය. දැන් ප්‍රශ්නය වන්නේ, වත්මන් ආණ්ඩුවට ක්‍රියාකිරීමට බලය තිබේද යන්න නොව, එම බලය භාවිත කිරීමට දැක්ම, කැපවීම සහ ධෛර්යය තිබේද යන්නයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ගැටුමේ කේන්ද්‍රයේ ඇති ප්‍රධාන ගැටළුව වන්නේ, සාධාරණ ලෙස බලය බෙදාගන්නේ කෙසේද යන්නයි. පළාත් සභා නිර්මාණය කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් දේශපාලන විසඳුමක් සඳහා වඩාත්ම ප්‍රායෝගික පදනමයි. එය පළාත්වලට යම් මට්ටමක ස්වයං පාලනයක් ලබාදෙන අතරම රට එක් ක්‍රමයක් යටතේ එක්සත් කරයි. මෙය උතුරට හා නැගෙනහිරට, ජාතික සමගිය බිඳදැමීමකින් තොරව යම් ප්‍රාදේශීය පාලනයක් ලබාදෙයි. ආචාර්ය දයාන් ජයතිලක මෑත ලිපියකින් පැහැදිලි කළේ, පළාත් සභා ක්‍රමය ඉන්දියාවෙන් ගෙන ආ අදහසක් පමණක් නොවන බවයි. එයට ඇත්ත වශයෙන්ම දේශීය මූලයන් පවතී. එය 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම දක්වා දිවයන අතර, එහිදී බදු එකතු කිරීමේ බලය සහිත 'ප්‍රාදේශීය සභා' යෝජනා කෙරිණි. බලය බෙදාහැරීම වැදගත් වන්නේ මන්දැයි ඔහු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ජනගහනය එකිනෙකාට සමීපව ජීවත්වන විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත වන බැවින්, කිසිදු කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද නොමැතිව සියලුම ප්‍රජාවන් සඳහා පූර්ණ සමානාත්මතාවය සහතික කරන ක්‍රමයක් රට තුළ තිබිය යුතු බවත්, නැතහොත් මධ්‍යම රජය සහ සුළුතර ප්‍රජාවන් විශාල වශයෙන් ජීවත් වන පළාත් අතර බලය බෙදාගත යුතු බවත් ඔහු ලිවීය(https://www.ft.lk/columns/Electoral-reactivation-of-provincial-councils-is-an-urgent-systemic-imperative/4-783312).

ශ්‍රී ලංකාව දැන් දේශපාලන කැමැත්ත, මහජන බලාපොරොත්තුව සහ අන්තර්ජාතික සහයෝගය යන සියල්ල එකට එකතුවන දුර්ලභ හා වැදගත් මොහොතකට පැමිණ තිබේ. ජනතාව සැබෑ වෙනසක් සඳහා ඡන්දය දී ඇත. එය සිදුකිරීමට රජයට බලය සහ මහජනතාවගේ විශ්වාසය යන දෙකම තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රටට තනිවම ක්‍රියාකිරීමට වැඩි කාලයක් ලබා දී ඇත. ශ්‍රී ලංකා බැරෝමීටරයෙන් පෙන්නුම් කරන පරිදි සිවිල් සමාජය විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට උදව් කිරීමට සූදානම්ය. දැන් අවශ්‍ය වන්නේ, පොරොන්දු ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන තීරණයකි. පළාත් සභා මැතිවරණ පැවැත්වීම, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, සියලු ප්‍රජාවන්ගේ දුක්වේදනා හඳුනාගැනීම සහ යුක්තිය සැමට අදාළ වන බව පෙන්වීම ජාතික සංහිඳියාව සැබෑ කළ හැකි පියවර වේ. ක්‍රියා කිරීමට කාලය දැන් එළඹ ඇති අතර, එය ලබන වසරේ නොවේ. එසේම නිමක් නැති විවාද හෝ ප්‍රමාදයන්ගෙන් පසුව නොවේ.

Advertiesment